අන්ධකාරයෙන් අරුණාලෝකයට (යහපත් සමාජයක් උදෙසා)
ගල් යුගයේ සිට පරිණාමය වූ මිනිසා, ගින්දර සොයා ගැනීමෙන් පසු අග්නියෙහි පහස වින්දෝය. කාලයාගේ ඇවෑමෙන් විවිධ සමාජ ආර්ථික භූමිකා මැද, මඩ ගොහොරක් බඳු සමාජයේ සිට අප වර්තමානයට පැමිණ ඇත. සරල ජීවිතයේ සිට සංකීර්ණත්වය කරා මිනිසා ආගමනය වීමේ දී මනු සතුන්ගේ මානුෂීයත්වය පෑල දොරින් රිංගා ගොස් තිරිසන් ගතිගුණ මතු විය. අවසාන ප්‍රතිඵලය වූයේ, මිහිපිට ජීවමාන බුදුන්ගේ පටන් බුද්ධාගමේ වේවා, කිතුණු වේවා, මුස්ලිම් වේවා, දමිළ වේවා කිනම් ආගමක, ජාතියක වුවද ලබා දී තිබූ ඉගැන්වීම් තුලින් අරුණාලෝකයට ගෙන ආ තිබූ සමාජය නැවත අන්ධකාරය සොයා යාත්‍රා කිරීමයි. එවන් සමාජ වාතාවරණයක නැවත උඩුගම් බලා යහපත් සමාජයක් අරඹයා අන්ධකාරය තුළින් අරුණාලෝකයට ගමන් කිරීමට පුංචි අත්වැලක් වනු වස් මෙම ලිපිය හේතු වේවා යන බලාපොරොත්තුවෙන් මෙසේ පාඨක ඔබව අමතමි.
පෙරදිග ධාන්‍යාගාරය, ඉන්දියන් සාගරයේ මුතු ඇටය වැනි අන්වර්ථ නාමවලින් හැඩ ගැන්වී තිබූ මාතෘභූමිය, වර්තමානයේ දකුණු ආසියාතික මත්ද්‍රව්‍ය අන්තර් හුවමාරුව බවට පත්ව ඇත. එම "ගෞරවාන්විත නම්බුකාර සන්නාමය" රටට දායාද වූයේ මිලියන විසි එකකට අධික ලාංකීය පුරවැසියන්ගේ නිවට කමකින් නොවන බව පාඨක ඔබත්, ලේඛක මමත් හොඳාකාරවම දන්නා කාරණාවකි, එය එලෙස වී ඇත්තේ මුදල්වලට සිය ආත්මය වුවද පාවාදීමට සූදානම් නරුමයන්ගේ සාහසික ක්‍රියාවන් වල ප්‍රතිඵල වශයෙනි. ඔබ මම දැනගත යුතු ප්‍රධානතම කරුණ නම් අග්නිදිග ආසියාවෙන් පැමිණෙන කොකේන්, අයිස්, හෙරොයින් ඇතුළු තව නොයෙකුත් නානාප්‍රකාර නම්වලින් හඳුන්වන මත්ද්‍රව්‍ය රැසක් නිරිත දිග ආසියාවට මෙන්ම යුරෝපාකරයට බෙදාහරින තිත්පොළ බවට පත්ව ඇත්තේ වසර දෙදාහස් පන්සියකට අධික ඉතිහාසයකින් සහ එහි ගැඹුර මතින් සුපෝෂණය වූ ඔබේත්, මගේත්, එකම රටයි. මතු පරම්පරාවකට, මගේ මව්බිම යැයි පැවසීමට ඇති සහ ජීවත් වීමට ඇති එකම රටයි. ඉඳින් එය මේ තිරිසන් මිනිසුන්ගෙන් ආරක්ෂා කර ගැනීම නීතියට, අධිකරණයට, හෝ පොලීසියට, එසේත් නැතිනම් හමුදා ඒකක වලට පවරා, තම සමාජ වගකීමෙන් පැන යන නිවටයින් නොවී, ඒකල වශයෙන් සමාජය තුළ සැබෑ වෙනසක් ඇතිකිරීමට උර දිය හැකි සමාජ ප්‍රතිසංස්කරණයක් උදෙසා ඇප කැප විය යුත්තේ මා වෙනුවෙන් හෝ වෙනකෙකු වෙනුවෙන් නොවේ. පාඨක ඔබේ දිවිය උදෙසා සේම ඔබගෙන් මතු ඔබේ ඇසින් ලෝකය දෙස බලා සිටීමට පොරකන උපනූපන් දරුවන් උදෙසාත් ය.
කාර්මීකරණයෙන් පසු තාක්ෂණයේ සිදුවූ දැවැන්ත පෙරලියත් සමඟ ලෝකය තුළ ජපානය වැනි තාක්ෂණික රාජ්‍යන්, චීනය වැනි නිෂ්පාදන රාජ්‍යන් හා තාක්ෂණය ගාමක බලවේගය කර ගනිමින් ඒ ඔස්සේ දිව යන සමාජ ආර්ථික පසුබිමකට උරුමකම් කියන්නා වූ රටවල් බොහෝමයක් බිහි වී පවතී, බිහිවෙමින්ද පවති. අර්ථය නම්, සංකීර්ණ ලෝකය දේශ සීමා සම්බන්ධයෙන් එතෙක් මෙතෙක් පැවතී දුරස්ථභාවයන් ඉක්මවා යමින් සුහුරු විශ්වීය ගම්මානයකට කැන්දාගෙන යාමයි. ඕනෑම දෙයක ස්වභාවය හා ස්වරූපය මත එය හොඳට නරකට දෙකටම යොදා ගත හැකිය. අද අප ජීවත්වන සමාජය කොතරම් දුරට මෙම පරිණාමීය තාක්ෂණය යහපත් ආකාරයට භාවිත කරන්නේ ද යන්න විග්‍රහ කිරීම අතිශය දුශ්කර කාරණාවකි.
අද තාක්ෂණය භාවිතා වන්නේ වඳුරාට දැලිපිහිය ලැබුණාක් මෙනි. මතුපිට ලෝකයේ පෙනෙන සිද්ධීන් වලට වඩා ගැඹුරු විනාශකාරී සිද්ධීන් නොපෙනන ඩිජිටල් අවකාශය තුළ වනු නොවනුමානයි. ලොව කොතනක සිටින්නෙකුට වුවද කවුරුන් හෝ ඝාතනය කිරීමට කුලී මිනීමරුවකු අවශය ද, නැතිනම් අවශ්‍ය ඕනෑම වර්ගයක මත්ද්‍රව්‍ය ලබා ගැනීමට ද, එසේත් නැත්නම් යුද්ධයක් සඳහා ආයුධ අවශ්‍ය ද, මේ ඕනෑම දෙයක් ඔබට සිතා ගැනීමටවත් නොහැකිය ඉක්මනින් තමාට ළඟා කරගැනීමත වර්තමානයේ ඉඩහසර පවතී. පිස්තොලයේ සිට රයිෆලය දක්වාත්, මත්ද්‍රව්‍යක සිය ගණිකාව දක්වාත්, ඔබ මම නොදන්නා දුරාචාර දහස් ගණනක්, මෙම සමාජය පුරා මෙම තාක්ෂණය ඔස්සේ ව්‍යාප්ත වේ. එයට හේතුව නම්, ඕනෑම සමාජයකට අලුතෙන් යමක් දායාද කළ පසු එහි අඳුරු පැත්තට යොමු වන පිරිසක්ද සිටීමයි. වර්තමාන අර්බුදය නම් ඒ කරා රටේ තරුණ පරම්පරාව මෙන්ම පාසල් යන දුවා දරුවා ද යොමු වීමයි.
එමෙන්ම අවි නිෂ්පාදනය නැවත ලෝක යුද්ධයකට රතු කොඩි වැනීමකි. විවිධ ස්වාධිපති රාජ්‍යයන් ජීව අවි නිපදවන්නේ, කතාවට කියන්නාක් මෙන් පැටව් හදන්නාක් සේය. ලෝක යුද්ධ දෙකකට පසුවත්, නාගසාකිය මිහිපිට වළදැමීමෙන් පසුවත්, එයින් පසු අද උපදින අංග විකල පුංචි එවුන් දෙස බැලීමෙන් පසුවත්, තවමත් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය එසේම පවතී. ආරක්ෂව නමින් අනාරක්ෂිත ලෝකයක්, ලෝකයාටම නොපෙනී නිර්මාණය වෙමින් පවතී. ලොවක් වෙනස් කිරීමට අපට හැකියාවක් නැත. එබැවින් අවබෝධයක් සහ බුද්ධියක් ඇති මිනිසුන් ලෙස, තමා භාවිතා කරන තාක්ෂණය අවශ්‍ය දෙයට මෙන්ම අනවශ්‍ය දෙයට ද භාවිතා නොකර අවශ්‍ය කටයුත්තකට සහ තම සුභසිද්ධියට භාවිතා කිරීමට හුරු පුරුදු විය යුතුය.
මොණර කොළයට තනපට ගලවන, මුදලට කන්‍යාභාවය විකුණන, බලහත්කාරයෙන් විකිණෙන, අම්මාවරුන්, සහෝදරියන් දහස් ගණනක් වසන රටක අපි සිටින්නෙමු. කිරීමට දෙයක් නොමැති වූ විට තම වස්ත්‍රය ගැලවීමට කාන්තාවකට බල කරන සමාජයක විසීමත් එක්තරා ආකාරයක දුකකි. නීතිය තම වගකීම ඉෂ්ඨ කරමින් ගණිකා නිවාස වටලයි. නමුදු ඔවුන් එම තත්ත්වයට පත් වීමට බලපාන සමාජ ඛේදවාචකය සොයා ඒවාට පිළියම් සෙවීම කොතරම් දුරට වනවාද යන්න අප නොදනිමු. අද එක නිවාසයක් වටලන විට, හෙට නිවාස දෙකක් ආරම්භ වේ. ප්‍රශ්නය තිබූ තැනම පවතී. අම්මාවරුන් අපනයන කර ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ඒජන්සිකාරයන්ගෙන් ගහන රටක, එය පෝෂණය කරන ප්‍රතිපත්ති පවතින රටක, කාන්තාවකගේ තියා මවකගේ හෝ වටිනාකම දන්නා පිරිස කෙතරම් අඩු ද? තම මව පාරට ඇද දමන, ඇතැම් විට ඝාතනය කර දමන, සිය දියණිය සියතින්ම දුෂණය කරන පියවරු සිටින සමාජයක් තුළ කාන්තා අයිතිවාසිකම් ගැන කවර නම් කතා ද? ඉඳින් රටක් සමාජයක් අන්ධකාරය තුළ පවතී යන්න නිවැරදි නොවේ ද? තමාගෙන් රටට ඉටුවිය යුතු යුතුකම් තියා තමාට සමාජයේ පවතින වගකීම් පවා ඇඟිල්ලෙන් ඇන කියාදීමට සිදුව ඇත. තමා කවරෙක් ද, තමාගෙන් ඉටුවිය යුත්තේ කුමක්ද? යන්න අමතක කරන ගුණමකුවකු නොවී හැඳූ මවත්, වැදූ මවත් රැකුම උදෙසා කැපවීම ඔබේ වගකීමයි. එය ඉටුනොවන තාක් ඔබ සමාජයට මළ මිනිසෙකි. මන්ද සමාජය නිර්මාණය වී පවතින්නේ කේවළ මිනිස් ක්‍රියාකාරකම්වල එකතුවක් ලෙසය.
මිනිසෙකු උපතේදී ඔහුට හෝ ඇයට හිමිවන ජාතියත්, ආගමත් ලැබී ඇත්තේ, ඒ නමින් තවත් කෙනෙකුගේ ලේ සෙලවීම සඳහා නොවේ. ආගම වෙනස් වුණත්, ජාතිය කුමක් වුණත්, කැපුණු විට ගලන ලෙය රතු පැහැතිය. ආගම ජාතිය වැනි සංකල්ප පවතින්නේ අප එකිනෙකා අතර සමඟියක්, එකමුතුවක්, අන්‍යොන්‍ය බැඳීමක් ඇති කිරීමටය. එබැවින් ජාතිවාදයෙන්, ජාතිකත්වයටත්, ආගම්වාදයෙන් ආගමිකත්වයටත්, අන්ධකාරයෙන් අරුණාලෝකයටත් පැමිණීමට දැන් කල් හරිය. තවකෙනෙකුගේ ශරීරයෙන් වෑහෙන ලේ දහරකින් ලැබීමට ඇති සතුට කුමක්ද? එබැවින් මෙවැනි මුග්ධ මතිමතාන්තර තුළ එල්බ නොසිට, ඒ සමාජ රාමුව බිඳ දමා යථාර්ථය අවබෝධ කර ගත යුතුමය.
මිනිසා මිනිසෙකු වන්නේ ඇයි? අප තිරිසනුන්ගෙන් හා යන්ත්‍රසූත්‍ර වලින් වෙනස් වන්නේ එක හේතුවක් නිසාවෙනි. එනම් යන්ත්‍රසූත්‍රවලට හෝ තිරිසන් සතුන්ට සිතීමේ හැකියාවක් නොමැත. එය පවතින්නේ මිහිපිට මිනිසාට පමණි. ප්‍රශ්නය නම් කොතරම් පිරිසක් සිතනවාද යන්නයි. අප වරදවා වටහා ගන්නේ කල්පනා කිරිම හා සිතීම එකම දෙයක් බවයි. නමුත් ඒවා එකිනෙකට වෙනස් සංකල්ප දෙකකි. අප කල්පනා කරන්නේ අතීතය පිළිබඳවයි. නමුත් සිතනුයේ අනාගතය පිළිබඳවයි. වර්තමානය යනු සිනහවත් දුකත් අතර භාවනාවකි. සංගීතය ලොවට ඉබේ පහල වූයේ නැත. එසේම තාක්ෂණයත් අනෙක් සෑම දේමත්. ඊට හේතු වූයේ මිනිසා සිතා විමසා කළ ක්‍රියාවන් ය. එබැවින් බුද්ධිමත් මිනිසුන් ලෙස වැඩ කළහොත් මේ පුහුදුන් සමාජය ඇලී ගැලී, එතෙමින් පවතින් ගණ අඳුර අතහැර පාඨක ඔබේත්, ලේඛක මගේත් සිත් සතන් තුළ අප දකින ඒ අරුණාලෝකයට කරා මේ සමාජය නැමැති ඔරුව උඩුගම් බලා යාත්‍රා කිරීමට හැකියාව පවතී. එවන් සමාජයක වාසය කිරීමට හැකිවේවා යන ප්‍රාර්ථනයත් සමඟින් අදට සමුගනිමි. ඔබට ජය!
රවිඳු නානායක්කාර
පළමු වසර ශිෂ්‍ය
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යතනායතනය