අවුරුදු අසිරිය

අලුත් අවුරුදු අසිරිය මට ඔබට පමණක් නොව ගහකොළ සතාසිවුපාවන්ටත් එකලෙස දැනෙන හරි අපූරු කාලයක අමුතු හැඟීමක්. ඉතින් අපි අද කතාකරමු අවුරුදු අසිරිය ගැන.

අවුරුදු අසිරිය

" අම්මෙ අම්මේ, ඇයි මේ හැමතැනම කෝදුරුවො වැහිවැහැලා. වෙනදට මෙහෙම නෑනෙ. අවුරුදු ළග නිසාවත්ද? "

ඔන්න ඔහොම තමා අලුත් අවුරුද්ද පටන්ගන්නෙ. හරියටම මාර්තු අග වෙද්දි ටික ටික මේ කෝදුරුවහන්සෙලා අපෙ ගෙවල්වලට එනවා කැවුම් හොයාගෙන. ඒක හරියට අපි සිරීපාදෙකාලෙට සිරිපා කරුණාව කරනවා වගේ. ඉතිං අපෙ අම්මලා මොකද දන්නවද කරන්නෙ. නූලකින් කැවුම් ගෙඩියක් ගෙදර උලුවස්සෙ එල්ලලා ගෙදරට එන කෝදුරුවහන්සෙලාට සංග්‍රහකරන්න පටන්ගන්නවා. ඉතිං මුළු අලුත් අවුරුද්දම අලුතින් පටන්ගන්නෙ මිනිස්සුන්ට විතරක් නෙවේ සත්තුන්ටත් රසවත් ආහාරවේලක් දීලා. බලන්න කොච්චර ලස්සන සිතුවිල්ලක්ද ඒක. මෙහෙම පටන්ගන්න අවුරුදු අසිරිය අප්‍රේල් මාසෙ පටන්ගන්නකොට තවත් රසබර වෙනවා. අපේ අවට පරිසරයද අවුරුද්දට අපි අලුත් ඇඳුම් ගන්නවා වගේ දළු දාලා, මල් පිපිලා, ගෙඩි හැදිලා අපූරු සුන්දරත්වයකින් අවුරුද්දට සැරසෙනවා. ඒ විතරක් නෙවේ සතාසිවුපාවුන්ද හරි හරියට අවුරුද්දට සැරසෙන්නෙ. මේ විදියට අපිත් අපේ අවට පරිසරයත් ලස්සන වෙද්දි අපිටම උරුමවුනු අපිටම හැඩගැසුනු අවුරුදු සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර අපේ අතින් සිද්දකරන්න අපි නිරායාසයෙන්ම පෙලඹෙනවා. මේ ඔක්කොම අපූරුවට රසවිඳින්න ඉගෙනගන්න අපිට ඉස්කෝලෙ, විශ්වවිද්‍යාලෙ, අමතර පන්තිවල නිවාඩු ලැබෙනවා. අම්මට තාත්තට අයියට අක්කට පවුලෙ හැමෝටම එයාලගෙ රැකියාවල්වලිනුත් ඈත්වෙලා එකට විනෝද වෙන්න, කාලය ගතකරන්න අලුත් අවුරුද්ද ලොකු අවස්ථාවක් අපිට හදලා දෙනවා. ඉතින් මේ අවුරුද්දකට එකම එක වතාවක් පමණක් ලැබෙන සුන්දර කාලය ජීවිතයේ මතක ගොඩක් අලුත්කරන, එකතුකරන කාලයක් කිව්වොත් එහි වරදක් නැතැයි මම විශ්වාසකරනවා.

අවුරුද්දේ සශ්‍රීකත්වය 

අතරින් පතර ඇසෙන කොහාගේ කෑගැසීමත් එක්ක ගෙයක් ගෙයක් ගානෙ උතුරන කැවුම් සුවඳ අවුරුදු කාලයට මුසුවුන විට ඇතිවෙන හැඟීම කියලා නිමකරන්න බැරි තරම්. කොකිස් බැදෙනකොට කාටත් හොරෙන් රසබලනකොට කනට  ඇහෙන කරස් හඬ පිටනොවෙන්න දෙන වෑයම තවත්  රසවත්. දොදොලක් හැඳිගාද්දි අත්වලට දැනෙන වේදනාව, කටුකබව කජු සුවඳින් මැකෙද්දී ඇතිවෙන සනීපය තවත් මනරම්. ආස්මි හදන්න දවුල් කරඳ කොළ හොයන්න කැලේ පීරනකොට මුහුනදෙන සිදුවීම් ඊටත් වඩා රසවත්, සිංහල අච්චාරුව හදන්න ලූනු සුද්දකරද්දි නොහඬා ඉන්න එක තරම් වෙනත් තරඟයක් අපිට නැතිතරම්. මේ හැඟීම් දැනීම් අවුරුද්දටම පමණක් උරුම වෙච්චි දේවල්. ඒකයි අපි හැමෝම මේ උත්සවයට මෙතරම් ආදරේ. ඒ විතරක් නෙවේ, ගෙමිදුලෙ බැඳෙන ඔන්චිල්ලාව මේ හැමටම වඩා තවත් අපේ හිතට සමීප වුනේ ගැමි සිංහල අපේකම තව තවත් අපේ හිත්වලට ළංකරමින්.

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර 

කෙමෙන් කෙමෙන් අලුත් අවුරුදු උදාවත් ලංවෙලා අපිටත් නොදැනීම. හතරවටින් රතිඤ්ඤා සද්දෙ ඇහෙද්දි අපේ ගෙදරිනුත් හරි සද්දෙට රතිඤ්ඤා පත්තුකරන්නෙ මෙදාසැරේ අපිටත් අවුරුදු සරුයි කියන්න වගෙයි. අලුත් අවුරුදු උදාවත් එක්ක ඒ ගතකරන නොනගත කාලය හරිම ඵලදායී විදියට ගතකරන්නත් කිසිම නැකතක් සුභකාලයක් නොවෙන හින්දත් එදා ඉඳන්ම මේ පුංචි අඩහෝරාවේ පවුලේ හැමෝම එක්ක පන්සල් ගිහිල්ලා පුණ්‍යක්‍රියාවල නිරතවෙලා හරිම ධාර්මික අඩ හෝරාවක් ගතකරන්න අපි පුරුදු පුහුණුවෙලා ඉන්නවා. ඇත්තටම මේ නොනගත කාලය තුළ ආහාර ගැනීමෙන් වැළකිලා ඉන්න සිරිතක් අපිටතියෙනවා. අපිට මේ වැඩේ කොච්චර අමාරුද කියනවනම් අම්මට තාත්තට හොරෙන් අවුරුද්දට හදපු කැවුම් කොකිස් හොරෙන් කන්නත් අපි මේ කාලෙදි පෙළඹිලා හිටියා. ඉතිං ඒ  නොනගත කාලයේ සතුට තවත් වැඩිවෙන්නෙ අලුත් අවුරුද්දට ගෙදර කිරි උතුරවන මොහොතේදි. පවුලේ හැමෝම එකතුවෙලා අපේ ගෙදරටත් හතරදිශාවටම කිරි ඉතිරෙනකම් ඇඟිලිගනිමින් බලාගෙන ඉන්නෙ. ඒ අතරෙ හරිම ලස්සනට කිරිමුට්ටිය උතුරනකොට අපේ හිත්වල ඇතිවෙන ඒ සතුට ජීවිතේ වෙන කිසිම මොහොතක අපිට සමීපවෙන දෙයක් නෙවෙයි. ඒ සතුට දෙගුණ තෙගුණ වෙන්නෙ අපි මඟබලන් ඉන්න වැඩ අල්ලා ගණුදෙනුකර ආහාර අනුභවය කියන නැකත උදාවෙද්දි. තාත්තා වත්තට ගිහින් පැළයක් හිටවද්දී අපෙ අම්මලා හැමදාම අපිට පිරිසිදු වතුර දුන්න ළිඳත් එක්ක ගනුදෙනුකරනවා. අපි හිත යටින් කැවුම් කන්න ආසාවෙන් පොතක් පාඩම් කරනවා. ඉක්මනට වැඩ අල්ලලා ඉවරවෙලා පවුලෙ වැඩිහිටියන්ට බුලත් දීලා වැදලා ඒ හැමෝමත් එක්ක ඊළඟට ආහාර අනුභවයට සූදානම්වෙනවා. බුලත් දෙද්දි ඒ හැමෝම පුංචි මුදලක් අපේ අතට දෙන්නත් අමතක කරන්නෙ නැහැ. ඒ නිසාම කපටි අපිත් එදාට නෑදෑයෝ හැමෝටම බුලත් දිලා වදිනවා. ඉතිං මේ හරබර කතා අස්සෙ ආහාර අනුභවයෙන් පස්සෙ ගමේ හැම ගෙදරකටම කෑම පිඟානක් අරං ඇවිදින්නත් පරණ තරහා අමනාප මකාදමන්නත් අමතක නොකරන්න අපි වගබලාගන්න කාල හෝරාවක් තමා මේ අලුත් අවුරුද්ද.

අලුත් අවුරුදු ප්‍රාර්ථනය

මේ චාරිත්‍ර වාරිත්‍ර අවසානයේ මුළු දවසම හරිම සතුටින් එකමුතුව ගතවෙද්දි හවස් වරුවේ කැටපොළ පැත්තෙ යන්නත් අමතක කරන්නෙ නැතිතරම්. ගණුදෙනුකරලා හොයාගත්තු පුංචි මුදලින් කැටගහන්න යන්නෙ හරිම ආසාවෙන්. පංච  කෙළිය, ඔළිඳ කෙළිය, වලකජු ගැසීම, බට්ටා පැනීම අවුරුදු කාලෙට අපිට නිතරම හුරුපුරුදු හරිම විනෝදාත්මක ක්‍රීඩා කිහිපයක්. ඒ ගතවන කාලයේ සුන්දරත්වය තවදුරටත් වැඩිකරන්න ගමපුරා සංවිධානය වෙන අවුරුදු උත්සව වලට හැකියාව ලැබෙනවා. වෙනදට නොපෙනෙන, අත්දැකීමක් නොලබන අපූරු ක්‍රීඩා මේ අවුරුදු උත්සවයට ඇතුළුවෙලා තියෙනවා. මේ හැම අවුරුදු උත්සවයකදිම අවසන පවත්වන පැදුරු සාජ්ජයට හෝ සංගීත ප්‍රසංගයට ඉන්නත් අපි අමතක කරන්නෙ නැතිම තරං. අපි කවුද අකමැති හිතේහැටියට විනෝදවෙන්න. මේ ඒ අවුරුදු කාලයයි. ඉතිං මාගේ අවසාන පැතුම, සතුටු සිතින් එක්සත්ව, එක්සිත්ව, අපේකම් හැඳිනගෙන, අපේකම් රැකගෙන මේ එළඹි සුන්දර අවුරුදු කාලය, එළඹෙන සුන්දර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සතුටින් සමරන්න මටත් ඔබටත් රටවාසී ලෝකවාසී සියලුදෙනාටත් හැකියාව ලැබේවා යන්නයි.