මොකද වුණේ? (වත්මන් ලාංකීය ආර්ථික මාවතේ සමර්පණයක්)

ශ්‍රී ලංකාව යනු 78 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයත් සමඟ ආගන්තුක විවෘත ආර්ථික ප්‍රතිපත්තියකට අනුගත වූ රටකි. එබැවින් එම ආර්ථික ක්‍රමවේදයට අනුකූලව ජාතික ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට දක්වන අසමත් බව නිසාවෙන එතෙක් මෙතෙක් කාලය තුළ මෙරට ඉතා දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් පවතී. තිස් වසරක් පුරාවට පැවති, ඊලාම් ත්‍රස්තවාදී යුද්ධය නිසාවෙන්, මෙරට ආර්ථික දියුණුව පරම්පරා ගණනාවක් පිටුපසට යාමට සිදුවිය. යුද්ධයෙන් පසු පශ්චාත් යුධ වාතාවරණයක් තුළ, ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික ගමන්මාවතක් දක්වා අවතීර්ණ වීමට උත්සහ කරනු දැකගත හැකි වුවද, එය කොතරම් දුරට සාර්ථකද යන්න ගැටලුවකි. ඉන් අනතුරුව 2019 වසරේදී පාස්කු ඉරු දින ප්‍රහාරය සමඟද, මෙරට ආර්ථිකයට දැඩි හානි පැමිණි අතර, බුද්ධිගලනය, විදේශ විනිමය අර්බුදය, ගෙවුම් තුලන අසමානතා, වෙළඳ පරතරයේ ඉහළ බව, අධික රාජ්‍ය ණය ප්‍රමාණය, අදූරදර්ශී දේශපාලන තීන්දු, ඇතුළු තවත් බොහෝ කාරණා රැසක් නිසා දිගින් දිගටම හානි වෙමින් පැවති ශ්‍රී ලංකා ආර්ථිකය කොවිඩ් 19 වසංගතය හමුවේ අතිශය විනාශයකට මුහුණ දෙන්නට විය.

මෙලෙස අර්බුදයට මුහුණදෙමින් පවතින ආර්ථිකය දෙස විවිධ කෝණ වලින් දැකිය හැකිය. ගෝලීය සමාජයක් තුළ හැසිරෙන රටක් ලෙස, රට අභ්‍යන්තර සාධක මෙන්ම බාහිර සාධකද රටෙහි ආර්ථික මට්ටම තීරණය කිරීමෙහිලා සුවිශේෂී බලපෑමක් එල්ල කරනු දැකිය හැකිය. ශ්‍රී ලංකාව 2022 මහ බැංකු වාර්තා පෙන්වා දෙන ආකාරයට සමස්ත ආර්තිකය 7.8 කින් සංකෝචනය විය. මේ සඳහා ආර්ථිකයෙහිලා අන්තර්ගත සියලු අංශවල කඩාවැටීම හේතු විය. ආර්ථිකය කළමනාකරණය කිරීමෙහිලා ගෙන ආ තීරණයක් මත ආනයන සීමා කළ අතර, එය අමුද්‍රව්‍ය සඳහා ප්‍රවේශ වීමට තිබුණ ඉඩහසර වළක්වන්නට විය. මෙරට වෙළඳ හිඟය දෙස බැලූ කල එය ඉතා උචිත තීරණයක් ලෙස එම අවස්ථාවේදී සැලකිය හැකි වුවද, ඉන් නිශ්පාදනා හා ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහිලා ඇති කරන ලද බලපෑම අපනයන වෙළඳපලට අහිතකර ලෙස බලපාන ලදි. මෙහි බලපෑම නිසා මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය වැනි ඉහළ සංඛ්‍යාත දර්ශක අඛණ්ඩ ආතතියකට ලක්විය. මෙම තත්ත්වය නිරාකරණය කරගැනීමෙහිලා රාජ්‍ය ප්‍රතිපත්ති සැකසිය යුතුය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දැනට සිදුකරන අපනයන වලට අමතරව, අපනයන සඳහා උචිත අගය එකතු කල හැකි භාණ්ඩ හා සේවා පිළිබඳව අවදානය යොමු කල යුතු අතර, අපනයන විවිධාංගීකරණය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එමෙන්ම දැනට වෙළඳපල තුළ ඉහල වටිනාකමක් හා අගයක් පවතින තේ, කුරුඳු, මැණික් වැනි නිශ්පාදනවල පවතින ගුණාත්මකභාවය එලෙසින්ම ආරක්ෂා කර ගැනිමට කටයුතු කල යුතු අතර, ඒවා සඳහා නව වෙළඳපොළවල් සොයා යෑමද වාසිදායක වනු ඇතැයි සිතේ.

එමෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකය වර්තමානයේ මුණුණ දෙන තවත් අර්බුදයක් වන්නේ උද්ධමනයයි. වසර පුරා අඛණ්ඩව වර්ධනය වන උද්ධමනය හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී පවතී. මහබැංකු වාර්තාවට අනුව ලංකාවේ වර්තමාන උද්ධමනය 57.2 ක් පමණ වුවද මීට පෙර මෙම අගය 69.8 ක පමණ ඉහළ අගයක්ද වාර්ථා කරන්නට විය. මේ හේතුවෙන් දෛනික ජීවන කටයුතු වලට සිදුවනලද බලපෑම අතිශය ශෝකජනකය විය. කුලී වැඩ කරන සේවකයා මෙන්ම, වතුකරයේ රැකියාවල නිරතවන දුප්පත් ජනතාව මෙම කාරණය නිසා අතිශය දුශ්කර කාලයක් ගෙවනු දැකිය හැකි විය. දෛනික ආහාර වේල සොයාගැනීම පවා අපහසු වූ අවස්ථා ඉතා විශාලය. මෙහි බලපෑම කුඩා දරුවාගේ පටන් වයෝවෘද්ධ වැඩිහිටියා දක්වාම ගලායන අතරම, එම කම්පනය ජාතික ආර්ථිකයේ මිනුම් දඬු වලින් මැනිමට අපහසුය. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ගෙන එන ලද ප්‍රතිපත්ති වල පෙන්වන ලද තරමක සාර්ථකත්වය හේතුවෙන්, පෙර පැවති 69.8ක උද්ධමනය පසුව 57.2ක් දක්වා අඩු වන්නට විය. නමුත් මෙම තත්ත්වයද මැදි ආදායම් රටක ආර්ථිකයට කම්පනයක් බැවින්, තව දුරටත් මෙය පාලනය කළ යුතු අතර, ඒ සඳහා ක්‍රමානුකූලව රජය ක්‍රියාමාර්ග ගත යුතුය. න්‍යායාත්මකව සලකන ආකාරයේ තනි අගයක උද්ධමනයක් පවත්වා ගැනීම සඳහා නැවත ආර්ථිකය ස්ථානගත කීරීමට ආදළවන වර්ධනීය වෙනස්කම් රාජ්‍ය අංශයේ සිදු විය යුතුය.

මෙම ආර්ථික අර්බුදය හමුවේ සමස්තයක් ලෙස කර්මාන්ත හා සේවාවල රැකියා මිලියන භාගයකට අධික ප්‍රමාණයක් අහිමි වූ අතර, මිලියන 2.7කට ආසන්න ජනතාවක් 2021 - 2022 කාලපරාසය තුළ නව දුප්පතුන් ලෙස ජීවන මට්ටම පහළට වැටෙන්නට විය. කෘෂිකර්මාන්තය ආශ්‍රිතව ජීවනෝපාය ගොඩ නඟා ගන්නා ජනතාව, තවදුරටත් සක්‍රීය ලෙස ජාතික ආර්ථිකය සඳහා දායක කරගැනීමට උපකාරීවන ක්‍රමවේදයක් සම්පාදනය විය යුතුය. එසේම ඵලදාව සඳහා සරිලන මිලක් මෙන්ම, එම නිෂ්පාදන මිලදී ගැනීමේදී එන, මුහුණ දීමට සිදුවන දුෂ්කරතා වර්තමානයේ කැපී පෙනෙන ගැටලුවක් වන අතර, ඒ සඳහා ප්‍රායෝගික හා කල්පවතින විසඳුම් හා ක්‍රමවේදයන් නිර්මාණය කළ යුතුය. මෙම කාල පරාසය තුළ් ජීවන වියදමේ සිදුවූ වැඩි වීම්, අඩුවීම් පාදක කරගනිමින් ජාතික හා නාගරික දරිද්‍රතාවය දෙගුණයකින් හා තුන්ගුණයකින් ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය රටට කිසි සේත්ම යහපතක් ගෙන දෙන්නෙ නැත. මිනිස්සුන් හට මූලික අවශ්‍යතා තෘප්ත කර ගැනීමට සෑහෙන ආදයමක් නොමැති වීම මෙන්ම, එදිනෙදා වියදම ඉහළ යාම, කුඩා දරුවකුගේ ශරීර සෞඛ්‍ය සඳහාද බලපාන බව සැලකිල්ලට ගතයුතුය.

එමෙන්ම අපනයන වෙළඳපල පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතූය. ඉතිහාසය පුරාවට ශ්‍රී ලංකාව, තම අයවැය තුළ පෙන්නුම් කරන ආකාරයට, ඉතා විශාල ආනයන ප්‍රමාණයක් සිදුකරන අතර, ඊට ආදළව රටින් පිටට ගලා යන ඩොලර් ප්‍රමාණය රැක ගැනීම සඳහා කට්‍යුතු නොකරයි. ඒ සඳහා වන අපනයන සැලසුමක් මෙන්ම, ආනයන සැලසුමක්ද නිර්මාණය විය යුතූය. වෙළඳ ශේෂයේ හිඟය දිගින් දිගටම අයවැය පරතරය සඳහා දායක වන්නට වූ අතර, මෑත වර්ෂ වලදි තරමක වර්ධනාත්මක වෙනසක් පෙන්නුම් කරන්නට වූයේ, 2021 දී ඩොලර් බිලියන 8.1 සිට 2022 දී එය, ඩොලර් බිලියන 5.2 ට අඩුවීම මඟිනි. එමෙන්ම මෙරටට විදේශ විනිමය මූලාශ්‍ර අතර ඉහළින්ම වැජඹෙන ප්‍රධානම සාධක දෙක වනුයේ, විදේශ ප්‍රේෂණ හා සංචාරක කර්මාන්ත ඉපයීම් වේ. වෙරළ බඩ කලාපයේ අතිබහුතරයකගේ ජීවිකාව මුහුද ආශ්‍රිතව නිර්මාණය වී ඇති අතර, ඉන් බොහෝමයක් සංචාරක කර්මාන්තය මත පදනම්ව ඇත. කොවිඩ් 19 වැනි අභියෝගාත්මක අවස්ථාවකදී, සංචරණ සීමා වැටුණු පසුව, රටවල් රටවල් අතර ගමනාගමනය පමණක් නොව, රටක් ඇතුළතව සංචරණය සීමා විය. එය මෙම සංචාරක කර්මාන්තයට ඉතා විශාල බලපෑමක් එල්ල කරන ලදී. මෙම කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන ලද පුද්ගලයන් හට තම ජීවිකාව අහිමි වීමේදී, එවකට ඔවුන් ආරක්ෂා කිරීම සඳහා රටතුළ පැවති, සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ එම අවශ්‍යතාවයන් තෘප්ත නොකරන බව දැකගත හැකිවිය.

සංචාරක කර්මාන්තයේ පමණක් නොව අනෙකුත් කර්මාන්ත ඇතුළද මෙම සිදූවීම දැකගත හැකිවිය. විදේශ ප්‍රේෂණ යනු ඇනෙක් වැදගත් කාර්ණාවයි. කොවිඩ් කාල වපසරිය තුළ මෙරට සඳහා ලැබුණු විදේෂ ප්‍රේෂණ ක්‍රමක්‍රමයෙන් අඩුවන්නට විය. ඊට බලපාන ලද්දේ දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීමත්, අවප්‍රමාණය නිසා ලබා ගත හැකි වාසිය මෙරට බැංකු හරහා නොලැබීමත් ය. පාලන කරන ලද චල විනිමය ප්‍රතිපත්තියක් පවතින රටක් ලෙස, එම අවස්ථාවේ ගත් තීරණ මත ඉතා විශාල ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට නොලැබී ගියේය. එපමණක් නොව, එහි හානිය තවත් ඉහළ මට්ටමකට ගෙන යමින්, බැංකු පද්ධතියෙන් හරහා සෘජුව විදේශ මුදල් මෙරටට ගලා ඒමකින් තොරව,අක්‍රමවත් ක්‍රමවේද හරහා මෙරටට මුදල් ගලා එන්නට විය. මෙවන් මට්ටමක් නැවත ඇති නොවන ආකාරයේ ස්ථාවර විසදුමක් වෙනුවෙන් කටයුතු කලයුතු අතර, අවිධිමත් ක්‍රම හරහා රටට ගලා එන මුදල් තහනම් කරනවා වෙනුවට, ඒවා නෛතික රාමුවක් යටතට ගෙන ඒමට කටයුතු කිරීම වඩා ප්‍රායෝගික විසඳුමක් ලෙස දැකිය හැකිය. එමෙන්ම විදේශ විනිමය උපායමාර්ග දෙස නැවත වතාවක් හැරී බැලීමට කාලය පැමින ඇත. මන්ද යත්, පැවති ගෝලීය අර්බුදකාරී වාතාවරණය තුළ 2022 දී රුපියල 78%කින් පමණ ඇතැම් මාසවලදී අවප්‍රමාණය වූ බව මහබැංකුව පවසයි. රටේ මුල්‍ය ස්ථාවරත්වයක් ඇති කරණු වස් මුදල් ඒකකය සඳහා වන ස්ථාවරත්වයක් ඇති කරගත යුතුය.

මේ සියල්ලය ඉහළින් ජාතික ආර්ථිකය කඩාවැටීම සඳහා බලපාන ලද විශාලතම කාරණාව නම්, ණය ගනීම් හා, ණය කලමනාකරණයේ දුර්වලතාවයන් ය. සීමාකාරි වෙළඳ තන්ත්‍රයක්, දුර්වල ආයෝජන වාතාවරණයක්, ලිහිල් මුදල් ප්‍රතිපත්තියක්, මෙන්ම වසර ගණනාවක් පුරාවට කරන ලද මූල්‍ය විනය විරෝධී ක්‍රියාවන් නිසා වර්තමානයේ ලංකාව අති විශාල ණයකන්දක් මත පැටලී ඇත. අඩු පොලියක් සහිත දිගු කාලීන ණය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකිරීම, වැඩි පොළී කෙටි ණය මත පදනම් සංවර්ධනය, ණය කළමනාකරණයේ දුර්වලතා, සහ ලබාගත් ණය ඵලදායී ආකාරයට ව්‍යාපෘතිගත කිරීමේ නොහැකියාව මත ගෝලීය සංදර්භය තුළ ලංකාවේ නාමය බිඳවැටෙන්නට විය. එය තහවුරු කරමින් 2020දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් හරහා පහත දමන ලද අතර, ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට තිබූ අවකාශ නිමා විය. ඉන් අනතුරුව ලංකාව 2019 දී පැවති නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7.6 සිට ඇමරිකන් ඩොලර් මිලියන 500 අඩුවන තෙක් තම සංචිත භාවිතා කරන්නට වුයේ, දෛනික අවශ්‍යතාවයන් තෘප්ත කරගැනිම හා ණය ගෙවීම සඳහාය. වර්තමානයේ නිල සංචිත ප්‍රමාණය ඉහළ නැගී තිබුණද, එය සතුටට කාරණාවක් නොවනුයේ, රට තුළ මුදල් ගබඩා කිරීමෙන් ආර්ථිකයක් ප්‍රසාරණය නොවන බැවිනි.

තිරසාර මට්ටමේ නිශ්පාදන ප්‍රගතියක් හා, ආර්ථික උන්නතියක් සඳහා වන උත්සාහයන් තවමත් පවතින්නේ මූලික මට්ටමකය. ජාතික ආර්ථිකය හුඳෙක් දේශපාලන අතකොලුවක් පමණක්ම නොව, රටේ සියලු පුරවැසියන්ගේ අනාගතය හා වර්තමානය බව, පාලයකන් අවබෝධ කරගත යුතු කාලයක් එළඹ ඇත. එවන් වාතාවරණයක් මෙරටට උදාවේවා යන ප්‍රාර්ථනයෙන් අදට සමුගමි. ඔබට ජය!
රවිඳු නානායක්කාර
පළමු වසර ශිෂ්‍ය
කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යතනායතනය